Father's Day 2021

පුතේ යම් මතු දිනෙක මෙය කියවා බැලුවොතින් මා පිය සෙනේ කොතෙක්දැයි දැනෙයි නුඹටත් ඉතින් පුතේ විහේන්, අද 2021-06-20 ලෝක පියවරුන්ගේ දිනය. මට අද වාගෙම මතකයි කලුපාට තිරයේ සුදු පාට චූටි බෝලයක් වගේ පෙනුන ඡායාව පුතුගේ බව කිව්වා. ඇස්වල කඳුලු හන්ගගෙන අම්මගෙ ඇස් දිහා මම හොරෙන් බැලුවා. අම්මත් හිටියේ ඇස්වල කඳුලු පුරවන්. දවස් ගෙවීගෙන යද්දි කොරෝන වයිරස් එක ලෝකෙම ගිලගෙන එද්දි මගෙ පුතාව ආයෙත් බලන්න එන්න මට බැරිවුනා. ඩොක්ටර් ඇතුලට අරගත්තෙ අම්මව විතරයි. ඒ විනාඩි කිහිපය මම ගතකරේ පුදුමාකාර බයකින්. ඒ වගේම ලොකු දුකකුත් මගෙ හිතේ තිබ්බත් මම කවදාවත් අම්මටවත් ඒක පෙන්නුවේ නෑ. පුතේ ඔයාගෙ අම්මත් මේ ලෝකේ ඉන්න ශක්තිවන්තම ගැහණියක්. ඒ ඇස් වල මම කවදාවත් බයක් කියලා දෙයක් දැක්කේ නෑ. ඩොක්ටර් අන්කල් කියන කරන හැම දේකටම තනියම මුහුන දුන්නේ පුතාගේ අම්මා. ඇඳිරි නීතිය රට පුරාම තිබ්බ නිසා, අම්මගෙයි පුතාගෙයි ලන්ග්නටවෙලා ඉන්න අවස්තාව ලැබුන එකත් මම ලබපු වාසනාවක් කියලත් මට වෙලාවකට හිතුනා. පුතේ අම්මගෙ බන්ඩිය ටික ටික ලොකුවෙද්දි, අම්මා ලොකු බරක් උහුලගෙන හිටියා පුතේ. වෙලාවකට අම්මව දකිද්දි මට දැනුනේ මහා බයක්. ඒ බරින් ටිකක් හරි මටත් ගන්න තිබ්බා නම් කියලා හිතුන දවස් තිබුනා. ආස කෑමක් කන්න බැරිව අම්මා ගොඩක් දුක් වින්දා. කාලය ගෙවිලා යද්දි මගෙ පුතු අපි ලඟට එන්න දින ලන්වෙද්දි අම්මා දවස ගත කලේ හරි අමාරුවෙන් පුතේ, නිදාගන්න පුලුවන් උනේ එක පැත්තකට ඇලවෙලා විතරයි. අම්මට නින්ද ගියත් නැතත් අම්මා කවදාවත් තාත්තාව ඇහැරුවේවත් නෑ. මගෙ පුතා අම්මගෙ බන්ඩිය ඇතුලේ සෙල්ලම් කරද්දි අම්මට ගොඩක් රිදුනත්, එයා කරේ හිනාවෙන එක, මගේ අත අරගෙන බන්ඩිය උඩින් තියලා පුතාව දැනෙන විදිය බලන්න දුන්න එක. අම්මයි මමයි කාලයක් තිස්සේ බලාගෙන උන්නු දවස උදාවුනා, ඒ තමයි පුතාව ගෙදර එක්කන් එන්න යන ඩහ්වස. ඊට කලින් දවසෙ අම්මව එක්කන් ගියා හොස්පිටල් එකට. එලියට පෙන්නුවේ නැතිඋනාට මට දැනුනා අම්මත් ඉන්නේ ලොකු බයකින් කියන එක. පුතේ අපේ ජීවිතේ සමහර දේවල් තියෙනවා ගොඩක් අමාරුවෙන් මුහුණදෙන්න වෙන. මේකත් ඒවගේමයි. උදේ පාන්දර 4ට අම්මට ලෑස්තිවෙලා ඉන්න කියලා නර්ස් ඇන්ටිලා ගියා. අම්මා හිත ගොඩක් හයියකරගෙන හිටියේ. ඒත් රෑ තිස්සේ සැරින් සැරේ අම්මා අවදියෙන් ඉන්න බව මට දැනුනා. උදේ පාන්දරම අම්මා පුතාව ගේන්න යන්න ලෑස්තිවෙල ඇඳ උඩ ඉඳගෙන හිටියා. නර්ස් ඇන්ටිල ඇවිත් අම්මව අරගෙන ගියා. මමත් ඒ පස්සෙන්ම ගියත් මට යන්න පුලුවන් උනේ දොර ලඟට විටහ්‍රයි. අම්මට හිරිවැටෙන බෙහෙත් විදලා සූදානම් කරනකන් තාත්තට ඇතුලට එන්න ඉඩදුන්නේ නෑ. පැය බාගෙකට විතර පස්සේ තාත්තටත් තියටර් එක ඇතුලට එන්න දුන්නා. මම යනකොට අම්මා ඇඳක් උඩ හිටියා. අත් දෙක දෙපැත්තට කරලා ගැටගහලා. පුතේ ඒක තාත්තා කෙනෙකුට බලා ඉන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒ වෙලාවෙත් මට හිතුනා අම්මා මේ ලොකු දුකක් විඳින්නේ මම නිසා නේද කියලා. ටික වෙලාවකින් අපිට ඇහුනා පුතා අඬන සද්දෙ, ඒ තමයි මගෙ පුතාගේ කට හඬ මුලින්ම අම්මයි මමයි අහපු දවස. ඩොක්ට අන්කල් පුතාව පෙන්නුවට පස්සේ තමයි අපි දෙන්නාගෙම බය නැති වුනේ. මගේ පුතේ මම ආයෙත් මතක් කරන්නම්, පුතාගේ තාත්තාට මෙහෙම දිනයක් සමරන්න ලැබුනේ මගේ පුතාගෙ අම්මගෙ කැපවීම උඩ සහ මගෙ පුතා අපි ලඟට ආපු නිසා. ඒ සතුට මගේ ජීවිතේ පුරාවටම තියෙයි. මගෙ පුතත් කවදාහරි මේ ලෝකෙට හොඳ දේ විතරක් කරන, ගුණවත් පුතෙක් වෙන්න. පුතාගේ තාත්තා දකින හීනේ ඒක තමයි..

Comments

Popular posts from this blog