Saturday, April 21, 2012

__සුන්ඳර සැඳෑවකි

අහන් ඉන්න ආසයි නුඹේ දෑස කියන කතා
මගේ නෙතත් නුඹත් එක්ක හරි හරියට කතා
අහන් ඉන්න හිත පුරාම හීන ගෙනෙන කතා
කාටත් හොරෙන් මුමුණන්නද ආදරෙ ගැන කතා

කවුරුවත්ම නොයෙනා අර රේල් පාර දිගේ
ඇවිද යමුද හැඳෑවක තුරුලු වෙමින් ඔහේ
සිහින් පින්න වැටුනෝතින් දේදුන්නත් තියේ
පාට ගනිමු තරඟෙට අපි පුංචි එවුන් වගේ

උඩරට මැණිකෙත් හූ කිව්වේ නෝන්ඩියට වගේ
අපි දෙන්නව කවදාවත් දැකලම නෑ වගේ
රතු අහසින් සැන්ඳෑ ඉර බැස යන්නා වගේ
නොපෙනි ගියේ ගස්ස ගස්ස උජාරුවෙන් වගේ

පාළු කපන කුරුළු රෑන අද නිහඬයි වගේ
මලින් මලට යන ඹබරුත් ගෙදර ගිහින් වගේ
අපි එන බව කලින් ඉඳන් දැනන් උන්නා වගේ
පරිසරයම අද නිහඬයි කතා බහට අගෙයි

Tuesday, April 17, 2012

__කාලය මැව් වෙනසක අරුමේ

පොඩි කාලේදි
බඩගිණි දැනෙනකොට
අපිට මතක් වෙන්නේ
අම්මව ...

ඒත් දැන්,

බඩගිණි දැනෙද්දි
අපිට මතක් වෙන්නේ
රට කරවන එවුන්ගේ
අම්මලා තාත්තලාව..

Monday, April 16, 2012

__හිත මිතුරු සුළඟ

වෙල් ඉපනැල්ලේ දුවමින්
සරුංගල් අහසේ යවමින්
වක්කඩේ තිත්තයන් සොයමින්
කෙලි සෙල්ලමේ යෙදුන මිතුරන්
කාලයාගෙන් අවෑමෙන්
වීලා සමාජයේ ලොකු කුඩා මිනිසුන්
මිතු දම් සිතින් පහව ගොසින්
ඉඳ හිට එකෙක් මූණු පොතේ සැරි සරමින්
හිටි හැටියේ කියයි හායි මචං
ඉස්සර හැමුව හිත මුතුරු සුළඟ අද කෝ ඉතින්

__මෙහෙම කාලෙකුත් තිබුනා

වෙනදාට වඩා ගොඩක් ප්‍රමාද උනත්
බලා ඉන්නේ මම ලෑලි බංකුව උඩ ඉඳගෙන
කාසි නැති සාක්කුවේ සීසන් එකත් ඔබාගෙන
කීයට හරි ඒවි කියලා හිතාගෙන

Sunday, April 15, 2012

__විරහවේ ගිණිදැල්

එදා අප ඇවිද ගිය
වැලි පාර මත රැඳුන
දුහුවිල්ල වසාගත්
පිය සටහන් එමට ඇත

පා සටහන් නැතත්
මතක සටහන් අතර
අදත් ගොළු උනා මම
අහිමි නුඹ නෙත් අබියස

විඩාබර මගේ නෙතු
සැරසුනත් සුපුරුදු කඳුලකට
ලොවෙන් සඟවාගන්නට
යෙදිමි මම අසාර්ථක උත්සාහයක

කාලය රැගෙන ගියත්
අප මතකයන් බොහෝ දුර
බුර බුරා නැගෙනු ඇත
විරහවේ ගිණිදැල් එමට

Friday, April 13, 2012

_ගනු දෙනු

අම්මා ලිඳත් එක්ක
ගෙදර ඔක්කොම තාත්තත් එක්ක
අපි ඔක්කොම බැංකුවත් එක්ක

අම්මට ලිඳෙන් නොමිලේ වතුර හම්බෙනවා අවුරුද්ද පුරාවටම...
තාත්තගෙන් ආදරය, රැකවරණය හැමදෙකම හැමදාටමත් නොඅඩුව ලැබෙනවා...
එතකොට,
බැංකුවෙන් අපිට හම්බෙන්නේ අහවල් එකක්ද....

කව්ද යකෝ මේ කැත වැඩ අපිට පුරුදු කලේ..?

Wednesday, April 11, 2012

__Original Vs duplicate

පොත්ත එකයි
ඒත්
ඇතුල වෙනස්

ඉතින්
කල් පවැත්මත්
අඩුයි

Tuesday, April 10, 2012

__සල්ලි.

එක තැනක නොරැඳෙන
තැන තැන තාවකාලිකව වසන
වසන තැන විසුමක් නැති
අන් සැම අල්ලේ නටවන
පට්ටම බඩුවක්...

Monday, April 9, 2012

__ඔන්ලයින් ඕප දූප

තමන්ගේ
ඇහේ තියෙන
පොල් පරාලෙට
වඩා ලොකුවට

අනුන්ගේ
ඇහේ තියෙන
කෙස් ගහ
පේන හැටි..

Thursday, April 5, 2012

ජීවිතය සොයා
ප්‍රාර්ථනා මල්ල අතින් ගෙන...
යන්නට ඇත දිගු ගමනක්....
අරඹමු ඉතින්...
දකුණු කකුල
පෙරට තබා....

__පසු වදන

මම නම්
නාලා
ගෙට ආවා...

ඔයාට
තාම
අව්ලක් නෑ
නේද...

Wednesday, April 4, 2012

කියාගන්නට ඇති දහසකුත් දේ අතරින්
එකිනෙක ගෙන පවස්සන්න මට රහසින්
හෙමි හෙමිහිට ඇසෙන නුඹ ආදර වදනින්
සනසන්න මා සිත කොයි කාටත් රහසින්

Monday, April 2, 2012

__අවුරුද්ද

මට අද වගේම මතකයි
මම පොඩි කාලේ මග බලන් උන්නා
අවුරුදු කුමාරයා එනකන් නෙමෙයි
තාත්තා අවුරුදු අරන් එනකන්..
අපිට හැමදාමත් අවුරුදු ගෙනාපු තාත්තා,
අවුරුද්දට අළුත් ඇඳුමක් ඇන්ඳ බවක් මට මතක නෑ...
අද,
තාත්තා මග බලන් ඉන්නවා...
අවුරුදු ගේනකන් නෙමෙයි,
මම ගෙදර එනකන්....
ඒත්,
එදා තාත්තා නොවිඳි අවුරුද්ද
අද මට දෙන්න පුළුවන් නම්....
ජීවිතයේ වෙනසක් සොයා
පියමැන්නෙමු අපි
වසන්තයේ සොඳුරු ඉසව්වක...
ඔබ මා අතර එදා නොදුටු බාධක...
අද අද ඇයි මතු වන්නේ
අප සිත් පාරවා..