පහේ කල්ලියේ මිශන්

හැමදාමත් දොර අරිද්දී බරාස් ගාලා සද්දේ අහෙන නිසා මම එදා දොර හෙමිහිට උස්සලා ඇරියේ ඉස්සරහා දොර පාමුල නිදාගෙන උන්නු ටොමියාගේ නින්දටත් බාධාවක් නොවෙන විදියට.

කලු පාට ඇඳුමින් සැරසුන මම හෙමි හෙමිහිට බඩියලාගේ ගෙවල් පැත්තට ඇදුනා.. පාරට බැහැලා හැරෙන්න හම්බුනේ නෑ අල්ලපු ගෙදර බල්ලා ඉන්නවා දැක්කා කලුවරේම පාර මැද, ඇයි යකෝ මේ මහ රෑ මූ ආච්චිට හාල් ගරනවද.. ආපහු හැරෙන්නත් බෑ.. ලාවට චූස් චූස් පාරක් දාගෙන යද්දි ඌ නැට්ට වනාගෙන පැත්තකට උනා.. නොදකින් තොපි වගේ ගොන් බල්ලෝ.. හොඳ වෙලාවට ඌට සිංහල බෑ..

මන් හෙමිහිට බඩියලාගෙ ගෙවල් කිට්ටු කරද්දීම මම දැක්කා රතු පාට කනාමැදිරි එලි වගේ මොනවද නිවි නිවී පත්තු වෙනවා..
කොයි ලෝකෙද බොල රතු පාට කනාමැදිරි ඉන්නේ... ආහ් ඔය එන්නේ බොබාගේ පත්තුවෙන මලේ සුවඳ.. කට්ටිය බරටම වැඩ..

ඒයි බොබා කෝ බඩියා.. මම හෙමිහිට කනට කරලා ඇහුවා..
අර ඉන්නේ තොගේ ඇස් පොට්ටද.. ඌ කෑල්ල එක්ක මලක..

මැක්කා, සීබා එහෙමත් අද කලින්ම ඇවිලා..
පුදුමයි තොපි දෙන්නා අද වෙලාවට ඇවිලා...
එහෙම තමයි ඕයි අද මගුලක යන්නනේ ආවේ..
මගුලක් වෙයිද මලගෙයක් වෙයිද..

කෙල්ලගේ තාත්තා එහෙම හිටියොත් උඩ දාලා වෙඩි තියයි ඕයි..
ඒකට තමයි ඕයි කකුල් දෙක තියෙන්නේ..
ඇයි මොකෝ පලල් කරලා දෙන්නද..
තෝ දන්න තරම තමයි.. එක පාරක් බඩියව උන්දා පොලවේ ගහනවා ටවුමෙදී.. දැන් වීරයා වගේ කියෙව්වට ඕකා වැඳලා තමයි බේරුනේ...
තමුසේ කොහොමද දන්නේ..
ඇයි ඕයි මම එතනම ටුක් ටුක් එකට මුවාවෙලා සීන් එක බලන් හිටියේ..
මෑන්ස් ගේමට එන්ටර් වෙද්දිම මම මාරු..

ඒක නෙමෙයි දැන් පුටාර් කීයක් තියෙනවද... තුනයි.. යකෝ මෙතනම 5ක්නේ..
මෙතන ඉන්දන්ම ඩබල් දාලාද...
ඇයි තෝ හිතුවේ කාර් එකක් ගෙනෙයි කියලද...
එහෙම නෙමෙයි ඕයි කරුමෙට හරි කෑමක් සෙට් උනොත් සට සට ගාලා ජියර් දාගන්න එපයි..

මේ බතල කොටාව දාගෙන තොට පදින්න පුලුවන්ද සීබා..
නොදකින් තොපි ඔක්කොටම කලින් කලින් සලු වෙලානේ..
නැතුව ඕයි අමුවෙන්ම කන්න පුලුවන්ද.. අද ඉතින් ශුවර් එකටම සැන්ඩි නැතිවම කන්න පුලුවන් වෙයි..

ඒයි යමල්ල යමල්ල ඉක්මනට, අරකිගේ තාත්තා නිදිලු..

එහෙනම් එලකිරියෙන්ම පනි බේරේවා කියලා හිතාගෙන යමන්..

බඩියා උඹ තනියෙන් එකක නැගහන්.. අපි ඩබල් දාලා එන්නම්...
බොබා උඹ පැදහන් ඈහ්..

කට්ටියම පට්ට කලුවරේ ගමන පිටත් උනා..
මන් හිතන්නේ අපි කට පියාගෙන යන එකම ගමන මේක වෙන්න ඕනේ.. අතරින් පතර ගෙවල් එකක දෙකක ලයිට් දාලා තිබුනත් අපි හිතුවට වඩා කලුවර වැටිලා තිබුනා..

බඩී පොඩ්ඩක් හිටහන්..

මේකයි දැන් ප්ලෑන් එක.. අද කොහොමහරි වැඩේ ගොඩදාගන්න ඕනේ හරිද.. මම අරුන්ගේ ගෙදර ගානට සෙට් කරලයි ආවේ.. වැඩේ ලොකුම ගේම තියෙන්නේ උඹගේ අතේ..

අපේ එක පුටාර් එකක් ටිකක් එහාට වෙන්න නවත්තනවා, අනිත් එක මෙහායින්.. උඹ තමයි ගේමට එන්ටර් වෙන්නේ.. මොකක් හරි අවුලක් උනොත් සිග්නල් එක දියන් ඈහ්..

ප්ලෑන් කරගත්තු විදියට වැඩේ ගොඩ දාගන්න හිතාගෙන අපි ගේමට එන්ටර් උනා.. හොඳ වෙලාවට අහල පහල ගෙවල් වල ලයිට් ඔක්කොම ඕෆ් කරලා, උන්ගේ ලෝබකම, අපේ ලක් එක..

බොබා බයික් එක නවත්තපිය..
අපි දෙන්නා මේ හරියෙන් නවතිමු..
සීබා..
තොපි දෙන්න පලයන් ගෙවල් පහු කරන් ටිකක් දුර...

බඩියා එහෙනම් ජය,

සීබා ගානට තැනට සෙට් උනා, අපි දෙන්නත් වටේ ෆුල් සෝදිසි පාරක් දාගෙන හිටියා..

බයිසිකලේ ලයිට් කනුවට හේත්තු කරලා බඩියා ගේමට බැස්සා.. කන්ද උඩ තිබ්බ ගෙදර ලයිට් ඔක්කෝම නිවලයි තිබ්බේ..

බඩියා ගිහින් විනාඩි දෙකක් ගතවෙන්න ඇති, ඒත් අපිට ඕක දැනුනේ පැය දෙකක් වගේ... මීටර් එක දඩ බඩ ගාලා වැඩ...

ඒයි බොබා බයික් එකක සද්දයක් එනවා.. කෙලවෙයි වගේ...

ඕක කෙලින් පාරේ යන එකක් වෙන්න ඇති ඕයි බය නොවී හිටු..

ආච්චිට හාල් ගරන්න අන්න ඌ මේ පැත්තට හැරෙව්වා..

බයික් එක ලඟම තිබ්බ තුත්තිරි ගාලට තල්ලු කරපු අපි දෙන්නා එතනම කානුවට පැනලා පහත් උනා..

සීබලා වැඩේ දෙල් කරගනීවිද දන්නේ නෑ ඕයි...

ඒත් එක්කම

මම දැක්කා නයා වගේ පාර පුරා වැනි වැනී බයික් එක ඉස්සරහට එනවා..

බොබා මූ එන විදියනම් මට එච්චර සෙට් වෙන්නේ නෑ ඕයි..

එහෙම කියලා කට ගන්න උනේ නෑ..

එක පාරටම බයික් එක අපේ පැත්තට ආවේ අපි දෙන්නට හිතාගන්නවත් වෙලාවක් නොතියා.. ලයිට් එලිය කෙලින්ම ඉස්සරහට ආවා මතකයි...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...